අප ගැන

 

 

 

කලාසුරි අරීසෙන් අහුබුදු

කලාසූරී අරිසෙන් අහුබුදු සූරීහු ශ්‍රේෂ්ඨ කවියකු, ගීත රචකයකු, භාෂාඥයකු, ජාතී හිතෛෂී විද්වතකු වශයෙන් සම්භාවිත ය. 1920 දී කොග්ගල මලළගම උපන් එ තුමෝ ගාල්ලේ මහින්ද, මරදානේ මහාබෝධ්, ගල්කිස්සේ සාන්ත තෝමස් ආදී විදුහල් ගණනාවෙක ගුරු සේවාවෙහි යෙදුණ හ. සාන්ත තෝමසයෙහි වසර 30ක් පමණ ඉගැන්වූ එ තුමෝ එ කල සමාජයට ඉතා වැදැගත් සිසු පිරිසක් තැනූ හ. පසු කල එ තුමෝ ජනාධිපති භාෂා උපදේශක තනතුර දැරූ හ.

ccb ahubudu prof pic

සුනිල් සාන්තයනට ලංකා ලංකා පෙම්බර ලංකා ගීය ලිවීමෙන් ගීත රචනයට පිවිසුණු අහුබුදුවෝ දකුණ නැඟනහිර, එම්බා ගංගා, වලාකුළින් බැස, ගිලෙම් ඔබේ ගුණ මූදේ, අතු අගැ දිලි වන මල්, සෙංකඩගල පුර, සමන් වැලේ මල් ආදි ඉතා ජනප්‍රිය ගීත ඇතුළු ව ගීත දහසකට ආසන්න ගණනක් ලියූ හ’ සන්දේශය ච්ත්‍රපටයට ලියූ සුදට සුදේ වලාකුළ යි, පුන්සඳ එළියයි, පුරුතුගීසි කාරයා ආදි ගීත චිත්‍රපට ගීත කලාවේ හරුවුම් ලකුණක් විය. සිංහල කවියට ද අද්විතීය සේවාවක් කළ අහුබුදුවන් ගේ පරෙවිය, රස දහර යන කාව්‍ය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. බුද්ධ වංසය, කඳ දෙවි උපත, ඉර හඳ නැගි රට, සිංහල වංසය, (වියොවින් පසු පළ කළ) නොනිවෙන පහන්, නොමියෙන මතක, ඔවදන ආදිය එ තුමන් ගේ සෙසු කවි පොත් අතර කැපී පෙනේ. එසේ ම, අතු අගැ දිලි වනමල්. සක්විති කිත් රැස යන ගීත රචනා සංග්‍රහ රාජ්‍ය සම්මාන ලැබී ය. ළමා සාහිත්‍ය රචකයකු ලෙස මහත් මෙහෙවරක් කළ අහුබුදුවෝ ‘රජ ගොනා‘ ළමා කතාවට රාජ්‍ය සම්මාන ලැබූහ. මල්ලී ඉපැදීම, මල් පාත්තිය, පාළුව, දිනුම, කිරිබත, අත්තටු, මිහිරි ටිකිරි සිනා, සමන්වැලේ මල් ආදිය සෙසු ළමා පොත් අතර වෙයි. හඳයා චිත්‍රපටියට ලියූ කවුරු ද, කවුරු ද දැන් ලොක්කෝ ළමා ගීයට සරසවි සම්මානය ලැබිණ. ‘සක්විති රාවන‘ අහුබුදුවන් ගේ ජනප්‍රිය ම නාට්‍ය‍ය යි.

කුමාරතුංග මුනිදාසයන් ඇසුරින් හෙළ හවුල් මඟට පිළිපන් අහුබුදුවෝ පසු ව එහි නයූ (නායක) වූ හ. නාමකරණ කලාවේ නව නැම්මක් ඇති කළ එ තුමන් විසින් සෙත්සිරිපාය, විසුම්පාය, සලාකා, සදීපා ආදි නම් බොහෝ ගණනක් සකසන ලදි. හෙළ බිලිඳුනට. අරුත්බර, රසවත්, සරල නම් තැබීම උදෙසා එතුමෝ නවමු මඟක් හෙළි පෙහෙළි කළ හ.

සමන්ති අහුබුදු


eda about samanthi

කලාසූරී අරීසෙන් අහුබුදු සූරීන් ගේ දියණි වන සමන්ති අහුබුදු සිය පියාණන් දිවමන් ව සිටිය දී ම එ තුමන් ගෙන් ප්‍රගුණ කළ නාමකරණ විෂයයෙහි නියැළුණා ය. අහුබුදුවන් ගේ ඇවෑමෙන් පසු බිලිඳුනට නම් තැබීමේ ක්ෂේත්‍රයෙහි පෙරමුණ ගෙන සිටින ඇය විසින් හෙළ බිලිඳුන් දහස් ගණනකට සරල, අරුත්බර රසවත් නම් තබනු ලැබ ඇත. ඔවුන් අතර අන්තර්ජාතික කීර්තිමත් ක්‍රීඩකයන් ද, ප්‍රභූ දේශපාලකයන් ද සුප්‍රකට කලාකරුවන් ද ආදී බොහෝ දෙනකු ගේ දරුවෝ වෙති. එ තුමිය විවිධ සමාජ ක්‍රියාකාරිත්වයන් සඳහා ද දායක වෙයි.